තරබාරුකම

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) පුද්ගලයෙකුගේ උසට අනුරූපව නිරෝගී බරක් ඇත්දැයි සොයා ගැනීමේ සරල හා විශ්වාසදායක ක්‍රමයක් ලෙස බහුලව භාවිතා වේ. බොහෝ වැඩිහිටියන් සඳහා, BMI 18.5 සිට 24.9 දක්වා තිබීම යන්නෙන් අදහස් වන්නේ ඔබට නිරෝගී බරක් ඇති ලෙස සලකනු ලබන බවයි. BMI අගය 25 සිට 29.9 දක්වා සහිත පුද්ගලයෙකු අධික බරක් සහිත අයකු ලෙස සලකනු ලබන අතර BMI අගය 30 ට වැඩි අයෙකු තරබාරු අය ලෙස සැලකේ. BMI බොහෝ මිනිසුන් සඳහා ප්‍රයෝජනවත් මිනුමක් වන අතර, එය සෑම කෙනෙකුටම නිවැරදි නොවේ. නිදසුනක් වශයෙන්, ඔබගේ මාංස පේශි හොදින් වැඩී ඇත්නම් සාමාන්‍ය BMI ලකුණු නිවැරදි නොවනු ඇත, මන්ද මාංශ පේශිවලට අමතර කිලෝ ප්‍රමාණයක් එකතු විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ සෞඛ්‍ය සම්පන්න නොවන බරක් නොමැති විට ඉහළ BMI අගයක් ලැබිය හැකි වීමයි. එවැනි අවස්ථාවන්හිදී, ඔබේ ඉණ වට ප්‍රමාණය වඩා හොඳ මඟ පෙන්වීමක් විය හැකිය. සෞඛ්‍ය සම්පන්න BMI ලෙස සැලකෙන අගය සඳහා ඔබේ ජනවාර්ගික පසුබිමද බලපායි. ඉහත සඳහන් ලකුණු සාමාන්‍යයෙන් සුදු හමක් ඇති ජන වර්ග වල පුද්ගලයින්ට අදාළ වේ. ඔබගේ ජාතිය සුළුතරය වේ නම්, අධික බර හෝ තරබාරු යැයි සැලකීමේ සීමාව අඩු විය හැකිය. දරුවෙකු නිරෝගී බරක් ඇති දැයි සොයා බැලීමට BMI භාවිතා නොකළ යුතුය, මන්ද ඔවුන්ගේ ශරීර තවමත් වර්ධනය වෙමින් පවතී. ඔබේ දරුවාගේ බර වැඩි දැයි දැන ගැනීමට අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

වෛද්‍යවරයෙකු හමු වීම

ඔබ වැඩිපුර බර හෝ තරබාරු නම්, ආරක්ෂිතව බර අඩු කර ගැනීම පිළිබඳ උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා වෙත ගොස් ඔබට සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් තිබේදැයි සොයා බලන්න. ඔබගේ වෛද්‍යවරයා පහත දෑ පිලිබඳ විමසිය හැකිය:

  • ඔබේ ජීවන රටාව - විශේෂයෙන් ඔබේ ආහාර වේල සහ ඔබ කොපමණ ශාරීරික ක්‍රියාකාරකම් කරනවාද; ඔබ දුම් පානය කරනවාද සහ මත්පැන් ඔබ කොපමණ ප්‍රමාණයක් පානය කරනවාදැයි ඔවුන් ඔබෙන් අසනු ඇත
  • ඔබේ ස්ථුලතාවයට හේතු විය හැකි හේතු - නිදසුනක් ලෙස, ඔබ ඖෂධ ගන්නවා නම් හෝ බර වැඩිවීමට දායක විය හැකි වෛද්‍ය තත්වයක් තිබේ නම්
  • අධික බර ගැන ඔබට හැඟෙන ආකාරය - උදාහරණයක් ලෙස, එය ඔබට මානසික පීඩනයක් ඇති කරයි ද වග
  • බර අඩු කර ගැනීමට ඔබ කොතරම් පෙළඹී ඇත්ද
  • ඔබේ පවුලේ ඉතිහාසය - තරබාරුකම සහ දියවැඩියාව වැනි සෞඛ්‍ය තත්වයන් බොහෝ විට පවුල්වල බහුලව දක්නට ලැබේ

ඔබේ BMI අගය ගණනය කිරීම මෙන්ම, ඔබේ බර නිසා සෞඛ්‍ය සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් තිබේද යන්න තීරණය කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා විසින් පරීක්ෂණ සිදු කළ හැකිය. ඒ සඳහා ඔබේ මිනුම් ලෙස පහත දෑ ඇතුළත් විය හැකිය:

  • රුධිර පීඩනය
  • රුධිර සාම්පලයක ග්ලූකෝස් (සීනි) සහ කොලෙස්ටරෝල් මට්ටම
  • ඉණ වට ප්‍රමාණය

ඉතා විශාල ඉණ වට ප්‍රමානයක් ඇති පුද්ගලයින් - සාමාන්‍යයෙන්, 94cm ක් හෝ ඊට වැඩි ඉණ වට ප්‍රමානයක් ඇති පුරුෂයින් සහ 80cm හෝ ඊට වැඩි කාන්තාවන් - තරබාරුකම හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ඉඩකඩ වැඩිය. ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබේ ජනවාර්ගිකත්වය ද සැලකිල්ලට ගත හැකිය, මන්ද එය යම් යම් තත්වයන් වර්ධනය වීමේ අවදානමට බලපායි. උදාහරණයක් ලෙස, ආසියානු, අප්‍රිකානු හෝ අප්‍රිකානු-කැරිබියානු ජනවර්ගයට අයත් සමහර පුද්ගලයින් අධි රුධිර පීඩනය ඇති වීමේ වැඩි අවදානමක් ඇත. විවිධ ජනවාර්ගික පසුබිම්වල සිටින අයට සෞඛ්‍ය සම්පන්න ඉණ මිනුම් ද වෙනස් විය හැකිය.